කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange) - Guide to CSE

Hot

Monday, April 12, 2010

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)


මම පොඩ්ඩක් කොටස් වෙළඳපළ ගැන ලියන්න හිතුව, වැඩේ නම් අමාරුයි. මොකද ඒකෙ තියෙන වචන වලට සිංහල වචන මට හොයන්න වෙනව, සිංහල ඉංග්‍රීසි කලවමේ ලියනකොට තියෙන අමාරුවත් දන්නවනෙ? කොළඹ කොටස් වෙළඳපළ වෙබ් අඩවියෙන් තොරතුරු අරන් තමයි ලියන්න වෙන්නෙ, ඒක පරිවර්තනයත් ලේසි නෑ.
අමාරුයි කිව්වට අත ඇරියෙම නෑ, වචන දෙක තුනක් හරි ලියන්න හිතුව. සරළම අදහසක් ලබා දෙන්න.
මුලින්ම කියන්නම්, මම මේ ක්ෂේත්‍රයට ආවෙ මේ අවුරුද්දේ මුල, ඒ කියන්නෙ මගෙ දැනුම අතිශය පොඩ්ඩයි කියන එක. නමුත් ඒ දන්න දෙයින් මට පොඩි හරි වැඩක්කරගන්න පුළුවන් සහ, මම මේ වෙනකොට කිහිප දෙනෙක්ව මේකට ඇදල අරගෙන තියෙනව. පොඩි උපදෙසක් උනත් දෙන්න බැරි කමක් නෑ.

කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත ආයතන (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ කොම්පැනි වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම ආයතන වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව. 
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.
තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද? 
1. CDS ගිණුමක් (Central Depository System Account) 
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? 
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. 
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර.
http://www.cdax.lk
CDS account එකේ වැඩේ මොකද්ද? 
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන් හෝ චෙක්පත් ලෙස පමණයි )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල එක එක සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (odd market එකේදී. හැබැයි ඒව ආපහු විකුණන්න නම් අමාරු වෙයි.
කොටස් ජාති 
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ? 
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව් කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද? 
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබේ CDS ගිණුමට බැර කරනව.
එයාල එහෙම නොකර ඉඳීද? 
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ? 
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.425% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගානක් අතට එන්නෙ කොහොමද? 
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව. 
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය කිව්වොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.
උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක් 
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්. 
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI) 
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ. 
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI) 
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු 
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ශික වාර්තාව නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්නම්.  
තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.  
මමත් පටන් ගත්තෙ පොඩි ගානකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 8ට 150% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ. 
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!! 
මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 200,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.  
තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ. 

27 comments:

  1. නියමයි. මටත් හිතෙනව ආයෝජනය කරන්න. ඔයාගෙ උදවු ලබේවි කියල හිතනව.....

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම, මේක ඉතාම හොඳ වගේම වාසි සහගත ආයෝජන අවස්ථාවක්. මට කරන්න පුළුවන් හැම උදව්වක්ම දෙනව. පටන් ගන්න, බලා ඉන්නෙ නැතුව. කරන්න ඕනෙ දේවල් හැම එකක්ම මේ අඩවියෙන් හොයාගන්න පුළුවන්.

    ReplyDelete
  3. නියමයි ! ඔන්න මමත් මේක ගැන හිතන්න පටන්ගන්නව. ඕන උනොත් උදව්වක් දෙනව නේ...... ?

    ReplyDelete
  4. අනිවාර්යයෙන්ම, උදව් කරන්න ඕනෙ හරම් අය ඉඳිවි පටන් ගත්තොත්. අපේ ෆෝරම් එකත් නවකයන්ගෙන් වගේම මේ ගැන ඉහළ දැනුමැත්තන්ගෙන් සමන්විතයි.

    ReplyDelete
  5. ඔන්න සුදු මල්ලියටත් ආසයි කොටස් වෙලද පොලට සෙට් වෙන්න..තව ටිකක් මෙක ගැන විස්තර හොයගෙන දෑනුම වෑඩිකර ගන්න ඔනා

    ReplyDelete
  6. tnks machan kuppiyak dammata cse 1ka gana...

    ReplyDelete
  7. good, niyameta explain karala thiyanawa, tnx so much,

    ReplyDelete
  8. Very good encouragement for biginers.

    ReplyDelete
  9. ගොඩක් හොද පොස්ට් එකක් යාලුවනේ කොටස් වෙළද පොලට ඇවිත් මාසයක් වගේ කාලයක් මටත් ලොකු උද්වොව්ක් උනා මම නොදන්නා ගොඩක් දේවල් මම දැනගත්ත හොද පොස්ට් එකක් කියල කියන්න පුළුවන්

    ReplyDelete
  10. Manoj said...

    mama oyage post eka kiyewwa eka niyamai but mata podi getalu wagayak thiyenwa... puluwannam udawwak karanna sahoo

    stock broker kenek hoyaganne kohomada? ahema ayathana ekka sambanda wenne kohomada saha lankawe thiyena stock broker companies monawada?

    ReplyDelete
  11. http://www.cse.lk/members.do

    ඔන්න ඔය පිටුවට ගියාම ඔක්කොම තැරැව්කාර ආයතන වල ලැයිස්තුවක් තිබෙනව. කැමති එකක් තෝරගෙන අදාල ආයතනයට ගිහිල්ල පෝරම ටික ඉල්ලගෙන පුරවල දෙන්න. එයාල ඔක්කොම කියල දේවි.

    ReplyDelete
  12. manoj said...

    thanks sahoo

    ReplyDelete
  13. TKS securities kiyala tharau kara samagama gana dannawada.mama peradeniya campus ake.akken ada avith apata me gana kiwa....me samagama gana dannawada?///

    ReplyDelete
  14. මේක ටිකක් අලුත් ආයතනයක්. මැලේසියන් සමාගමක් හරහා කෙරෙන තැරැව්කාර ආයතනයක්.
    ඇමරිකානු විශාල තැරැව්කාර ආයතනයක් තමන්ගෙ ලංකාවෙ තැරැව්කාර ආයතනය විදිහට තෝරාගෙන තිබුණු Asia Securities ආයතනයෙන් ඉවත් වෙලා TKS Securities තෝරාගෙනත් තිබෙනවා.
    අත්දැකීම් බහුල කළමණාකාරිත්වයක් මේ ආයතනය සතුයි. Asia Securities වල හිටි පුඟ්ගලයින් කිහිප ඩ්හෙනෙකුත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. TKS එකේ ප්‍රධානම උපදේශකයා වන්නේ අසංග සෙනෙවිරත්න. ඔහු Asia Capital තැරැව්කාර ආයතනය ආරම්භ කිරීමටත් මූලිකත්වය ගත්තෙක්.
    දිගු කාලීන අත්දැකීම් සහ දැනුමක් සහිත සමීක්ෂණ කණ්ඩායමක් මෙහි ඉන්නව.

    ඉතින් මගෙ අදහස නම් මේක නරක ආයතනයක් වෙන්න නම් බෑ. :)

    ReplyDelete
  15. niyamai godak hodai matath hithenawa ayojanaya karanna.

    ReplyDelete
  16. අපිට එක් කොටසක් සදහා ලාභාංශයක් බැගින් ලැබෙන්නෙ නැද්ද?ලැබෙනවනම් ඒක ලැබෙන්නෙ කොහොමද?

    ReplyDelete
  17. ඔව්. ඔබ එක කොටසක් හරි ගත්තොත්, ඒ සමාගම ලාභාංශ ගෙවනව නම්, ඒ ගෙවන කාලයේදී ඔබට කොටස් අයිතිව තිබුණොත් ඔබට ලාභාංශ ලැබෙනවා.

    ලාභාංශය චෙක්පතකින් ඔබගේ නිවසට ලැබෙනවා.

    ReplyDelete
  18. බොහොම ස්තූතියි අයියෙ. මට කියන්න පුලුවන්ද සාමාන්‍යයෙන් DFCC,HNB වගේ සමාගම් ගිය අවුරුද්දෙ එක කොටසක් සදහා කොපමන විතර ලාභාංසයක් ගෙව්වද කියලා

    ReplyDelete
  19. DFCC = Rs. 5.50 per share
    HNB = Rs. 7.00 per share

    www.cse.lk වෙබ් අඩවිය තුළ අදාල සමාගමේ විස්තර පිටුවට ගිහිල්ල Announcements කොටසේ මෙම විස්තර තිබෙනවා.

    ReplyDelete
  20. බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete
  21. @Kalum: නැහැ. වාර්ෂිකව තමයි ලැබෙන්නෙ.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. Hamadema sahalluwen pahadiliwa hondatama galapala liyala thiyanawa shuthi.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad