කොටස් වෙළඳාම් කිරීමේ මූලික කරුණු (Orders) - Guide to CSE

Hot

Sunday, June 27, 2010

කොටස් වෙළඳාම් කිරීමේ මූලික කරුණු (Orders)

පරිගණක තාක්ෂණයත් එක්ක online trading පහසුකම් ලැබීම නිසා හුඟක් ආයෝජකයින් දැන් තමුන්ගේ ආයෝජන උපදේශක හරහා යන්නෙ නැතුව තමුන්ම trading කරන්න පටන් අරගෙන තියෙනව. නමුත් එහෙම කරනවා කියල ඔබේ ආයෝජන උපදේශකට කතා කරන එක එහෙම නවත්තන්න එපා, මොකද එයාල හරහා ඔබට පුළුවන් වෙළඳපළ තත්වය ගැන, ඉදිරියට මොනවද වෙන්නෙ, කොයි කොටස් ඉදිරියේදී ඉහළ/පහළ යාවිද කියන වගේ තොරතුරු ලබා ගන්න. කොහොම හරි, ඔබ මිලට ගැනීමක් විකිණීමක් කරනකොට දැන ගන්න ඕනෙ, විවිධාකාරයේ Orders වර්ග තියෙනව. අන්න ඒව ගැන පොඩ්ඩක් කියන්න තමා මේ සැරසෙන්නෙ.

මුලින්ම, ප්‍රධානම Orders වර්ග දෙකයි, Market Order සහ Limit Order.

Market Order එකක් කියල කියන්නෙ, පවතින මිලට, මිලට ගැනීම හෝ විකිණීම සිදු කිරීමයි. මේකට හරියටම නිශ්චිත මිලක් නෑ. නමුත් ක්ෂණිකව Order එක ක්‍රියාත්මක වෙනවා. ඔබ මිලදී ගැනීමක් නම් කරන්නෙ, කොටස් හිමියන් විකිණීමට බලාපොරොත්තුවෙන් සිටින අවම මිලට (Min: Ask) ඔබට කොටස් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඔබ විකිණිමක් කරනව නම් කරන්න වෙන්නෙ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආයෝජකයින් මිලට ගන්න කැමති ඉහළම මිලටයි. (Max Bid)

උදා: අපි හිතමු ඔබට ඕනෙ කියල Dialog වල කොටස් ගන්න. අවසානයට ඒක trade වෙලා තියෙන්නෙ රු.9ට කියමුකො. Order Book එක බැලුවම ඒකෙ හැටියට විකුණන්න කැමැත්තෙන් ඉන්න අයගෙන් අවම මිලකට විකුණන්න ඉන්නෙ රු.9.25ට. ඔබට පුළුවන් ක්ෂණිකව ඒ මිලට එහි කොටස් ගන්න. (ඔන්න එතකොට තව දෙයක් වෙනවා, Dialog හි කොටස් මිල තවත් ශත 25කින් ඉහළ යනවා.) ඔහොමම තමා විකිණිමත්. Dialog කොටස් ටිකක් ඔයා ලඟ තියෙනව. ඔයාට ඒව විකුණන්න ඕනෙ, Order Book එකේ හැටියට මිලට ගන්න කැමති අයගෙන් ඉහළම මිල තියෙන්නෙ රු.8.75ට. ඔබට ක්ෂණිකව ඒ මිලට ඔබේ කොටස් ටික විකුණන්න පුළුවන්. (ඔන්න මෙතනදි Dialog කොටස් මිල ශත 25කින් පහළ යාමකුත් වෙනවා.)

මෙහිදී මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ඔබ මිලට ගන්න/ විකුණන අගය, අවසානයට trade උනු මිල වෙන්නෙ නෑ හුඟක් වෙලාවට. ඒක වෙනස් වෙන්න පූළුවන්. එහෙම වෙලාවට ඔයාගෙ trade එකත් එක්ක කොටසේ මිලත් උච්ඡාවචනය වේවි. නමුත් සමහර වෙලාවට අවසන් ගනුදෙනුව සිදු වුනු මිල හා ඔබට ගනුදෙනුව කළ හැකි මිල සමානත් වෙනවා.

බලා ඉන්නෙ නැතුව මිලට ගැනීම්/ විකිණීම් කරන්න කැමති ආයෝජකයින් අතර Market Orders ජනප්‍රියයි. හැබැයි මුලින් කිව්ව වගේ ඒකට හරි මිලක් නෑ. වෙලාවෙන් වෙලාව ඒක වෙනස් වෙනවා. (එතරම් ද්‍රවශීලීතාවයක් නැති කොටස් වල නම් එතරම්ම වේගවත්ව වෙනස් වෙන එකක් නෑ.)

Limit Order එකක් කියල කියන්නෙ, ආයෝජකයා නියම කරන මිලක් සහිත Order එකක්. යම් සමාගමක කොටස් ඔබට ඕනෙ නම් යම් මිලකට ගන්න, ඔබ මේ වර්ගයේ order එකක් තමා දාන්න ඕනෙ.

උදා: ඉහත උදාහරණයම ගමුකෝ, ඔයා කැමති නෑ 8.75ට විකුණන්න, ඔයාට ඕනෙ තව ලාභ ලබන්න. අපි හිතමුකො ඔයාට ඒ ටික විකුණන්න ඕනෙ රු.10ට. ඉතින් ඔයාට පුළුවන් ඒ කොටස් ටික රු.10 බැගින් විකුණන්න Sell Order එක් දාන්න. කොයි වෙලේ හරි රු.10ට කොටස් මිල ඉහළ නැග්ගොත් (ඒ කියන්නෙ ඒ මිලට කොටස් මිලට ගන්න කෙනෙක් ලෑස්ති උනොත්) ඔයාගෙ කොටස් ටිකත් විකිණෙනව. අනිත් පැත්තත් එහෙමමයි. ඔබට ඕනෙ නම් රු.8ට කොටස් මිලට ගන්න, ඔබ රු.8කට Buy Order එකක් දාන්න ඕනෙ. කොයි වෙලේ හරි කොටස් මිල ඒ ගාණට බැස්සොත් (වෙන විදිහකින් කිව්වොත්, ඒ මිලට විකුණන්න කෙනෙක් ලෑස්ති නම්) ඔබට කොටස් ටික මිලට ගන්න පුළුවන් රු.8 බැගින්.

සැළකිළිමත් විය යුතු දෙයක්
Limit Oders දානකොට තමුන්ගෙ ලාභය ගණං හදල විකිණිය යුතු මිල තීරණය කරන්න. ඒකට තැරැව්කාර ගාස්තුත් අයත් වෙනවා. ඒ නිසා ලාභයෙන් කොටසක් වියදම් වෙනවා එම ගාස්තු වශයෙන්. ඉතින් අලාභයක් නොවෙන්න මිලට ගත යුතු/ විකිණිය යුතු මිල තීරණය කරන්න.

අනෙකුත් වර්ග වල Orders
මේව අර ඉහත කියපු Orders වර්ග වල අනු කොටස් වගේ කියල හිතන්නකො.

Normal Lots
අපි හැම වෙලේම කරන orders මේ ගණයට තමා වැටෙන්නෙ. මේකෙ විශේෂයක් නෑ. අපිටම පුළුවන් මිල තීරණය කරන්න, ගනුදෙනුව සිදුවිය යුතු අවම කොටස් ගාණ තීරණය කරන්න, ඕඩර් එක බල පවතින දින ගාණ තීරණය කරන්න.....

Odd Lots
මේකෙ ටිකක් විශේෂයක් තියෙනව. සාමාන්‍යයෙන් කොටස් වෙළඳපළ තූළ කොටස් අලෙවි වන්නේ 100යේ ගුණාකාර වලින්. නමුත් ඔබට ඕනෙ නම් කොටස් 100ට වඩා අඩු ගණනක් මිලට ගන්න/ විකුණන්න, ඔබ එය කල යුත්තේ Odd Market එකේදි. එහි අලෙවි වන්නේ 100ට අඩු කොටස් ප්‍රමාණ. වැදගත් දෙයක් තිබෙනව, සාමාන්‍ය වෙළඳපළෙහි කොටස් වල මිල, ඒවාට බලපවතින සාධක මෙම කොටස් වලට බලපාන්නෙ නම් නෑ. ඉතින් මෙහි ඇති යම් කොටසක මිල, සාමාන්‍ය වෙළඳපළේ එන කොටසේ මිලට වඩා හැම වෙලේම වෙනස්.

AON Lots
මේකත් සාමාන්‍ය කොටස් වෙළඳාම් ක්‍රමයම තමා, වෙනස තියෙන්නෙ මෙහිදී කොටස් වෙළඳාම් වෙන්නෙ 100 ගුණාකාර වලින් නෙමෙයි, ඔබ විකුණන්න/මිලට ගන්න බලාපොරොත්තු වෙන කොටස් ප්‍රමාණයට අනුවයි.

උදා: ඔබට ඕනෙ නම් Cargilles වල කොටස් 1000ක් මිලට ගන්න, විකුණන්න ඉන්න කට්ටිය විකුණන්න බලා ඉන්නෙ 500, 300, 800, 1500 වශයෙන් කියල කියමුකො. එතකොට ඔයාට ඕනෙ කොටස් ගාණ දෙන්න පුළුවන් 4 වෙනි කෙනාටනෙ, ඉතින් ඊට උඩින් තිබෙන කොටස් 1600ම විකිණෙනකම් ඔයාගෙ Order එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නමුත් ඔයා මේක Normal Market එකේ කළා නම් ඔයාට කොටස් 1000 ලැබෙනව පළමු වැන්නාගෙන් 500, දෙවැන්නාගෙන් 300 හා තෙවැන්නාගෙන් 200ක් වශයෙන්.

මේ තුන් වර්ගය, ඔබ cdax එහෙම පාවිච්චි කරනවා නම් දැකල ඇති.

ඊළඟට කතා කරමු මේ කිව්ව ඒව යටතට පත් වෙන තවත් ආකාර කිහිපයක Orders කිහිපයක් ගැන. ඉහතින් කිව්ව orders වෙනස් උනේ කොටස් ප්‍රමාණය අනුවනෙ. මේ පහත කියන ඒව වෙනස් වෙන්නෙ එම order එක බලපවත්වන දින ගණන අනුව. cdax වල ඉඳන් order dialog box එක ඕපන් කලාම දින ගණන තීරණය කරන option එක ගැන තමා මේ කියන්නෙ.

Day
Order එක ඉකුත්වන කලයක් ඔබ දෙන්නෙ නැත්නම් ඕඩර් එක ඉබේම Day Order එකක් විදිහට තමා වැටෙන්නෙ. ඒ කියන්නෙ ඒ Trading Day එක අවසානය වනතෙක්ම එම order එක ක්‍රියාත්මක උනේ නැත්නම් (fill උනේ නැත්නම්) එය එදිනට වෙළඳපළ ගනුදෙනු නතර කරන අවස්ථාවේම අවලංගු වෙනවා. ආපහු ඒක ක්‍රියාත්මක කරවන්න ඕනෙ නම් ආපහු order එක දාන්න ඕනෙ.

GTC (Good Till Cancel)
මේ වර්ගයේ ඕඩර් එකක් ඔබ අවලංගු කරන තෙක් හෝ එය ක්‍රියාත්මක වන තෙක් (fill වන තෙක්), වෙළඳපළ තුළ order එකක් වලංගුව පවතින සම්පූර්ණ කාලයම පවතිනවා. කොළඹ කොටස් වෙළඳපළට නම් එය උපරිම trading days 5ක කාලයක්.

GTD (Good Till Day)
මේකත් GTC වගේම තමා, නමුත් ඔබට පුළුවන් ඕඩර් එක වලංගුව පවතින කාලය තීරණය කරන්න, දින 1 සිට 5 දක්වා.

මේ දේවල් ටික දැනගෙන සිටීම, හරි විදිහකට කොටස් මිලට ගන්න, විකුණන්න උදව් වෙනවා. අනිත් එක මේක අයෝජකයාට ලොකු පහසුකමක්ශුඟක් අයට මාකට් එක දිහා හැම වෙලේම බලා ඉන්න බෑනෙ. ඉතින් ඔබට පුළුවන්, Buy orders, sell orders දින කිහිපයකට දාල තියන්න. ඒක හරියට trading automate කරල වගෙයි.

මේකෙන් ඔයාලගෙ කාලය, මුදල් ඉතිරි කරනවා වගේම, අවදානමත් අඩු කරනවා.

8 comments:

  1. මගෙ යාලුවෙක් මේකට සම්බන්ධ වෙලා ඉන්නව.එයාගෙ තැ‍රැව්කාර සමාගම HNB එක.ඒ උනාට එයා කියනව සෑහෙන කාලෙකින් ලාබයක්නම් ලැබුනෙ නැතිලු.මිල ඉහල යන කොම්පැනි වල කොටස් වෙනම කට්ටියක් අතරෙ විතරලු බෙදෙන්නෙ.එයාල විකුණන කොටස් වල මිල ඉහල යන්නෙම නැති තරම්ලු.මීට කාලෙකට ඉස්සර එයා ලඟ රිචර්ඩ් පීරිස් එකේ කොටස් තිබුනලු.ඒ උනාට රිචර්ඩ් පීරිස් (ටයර්)එක ගිනි ගත්තට පස්සෙ ඒ සල්ලි ඔක්කොම වතුරෙ ගියා වගෙ උනාලු.
    හරි,අපි ඉස්සෙරවෙලාම ඕකට සම්බන්ධ වෙනවනම් අපේ ලඟම තියන තැ‍රැව් කාර සමාගමේ ශාඛාවකට ගිහින් විස්තරේ කිව්වම එදාම උනත් මුදල් ආයෝජනය කරන්න පුලුවන්ද?අපි දිගුකාලීන අයෝජනයක් කරල ඒ සමාගම දිගින් දිගටම පාඩු ලබනවනම් අපේ බ්‍රෝකර් ආයතනය අපිට ඒ බව දැනුම් දෙනවද? අපි හිතුවොත් අද කොටගල ප්ලාන්ටේශන් කොටස් වල මිල ඉහල යන අනුපාතයක් තියනව කියල එතකොට අපි කොහොමද ඒක දැන ගන්නෙ?අපේ තැ‍රැව්කාර සමාගම අපිට ඉක්මනට ඒක දැනුම් දෙනවද?

    ReplyDelete
  2. "සෑහෙන කාලෙකින් ලාබයක් නම් ලැබුනෙ නැතිලු" එකට එකම හේතුව හරි හැටි තෝරාගැනීමක්/හොයල බැලීමක් නැතුව ඔහේ ආයෝජනය කිරීම.
    කොටස් වෙළඳපළ ආයෝජනය හරහා මසකට ලක්ෂ ගණං උපයන අයත් ඉන්නව.

    "මිල ඉහල යන කොම්පැනි වල කොටස් වෙනම කට්ටියක් අතරෙ විතරලු බෙදෙන්නෙ" මේක තනිකරම බොරු කතාවක්, ඕනෙම කෙනෙකුට ඕනැම සමාගමක කොටස් ගන්න පුළුවන්, ඒක බෙදල දෙන එකක් නෙමෙයි, තමුන් මිලට ගන්න ඕනෙ එකක්.
    යම් සමාගමක කොටස් මිලට ගන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ, පහුගිය කාලය තුළ ඒ සමාගමේ කොටස් මිල හැසිරුනේ කොහොමද, ඉදිරියට මොනව වෙයිද කියල. තැරැව්කාර සමාගම් විවිධාකාරයේ සමීක්ෂණ කරල සමාගම් වල කොටස් මිල සම්බන්ධයෙන් අනාවැකි පළ කරනවා, ඒව අනුව හිතල බලලයි කොටස් මිලට ගන්න ඕනෙ.

    ඔබ කියන ආකාරයට කෙලින්ම එක පාරම ආයෝජනය කරන්න බෑ. මගෙ මුල් ලිපි වල ආයෝජනයක් අරඹන්නෙ කොහොමද කියල කියලදීල තියෙනව. මුලින්ම CDS ගිණුමක් හදාගන්න ඕනෙ. ඒක active උනාට පස්සෙ ඒකට මුදල් දාල ආයෝජනයන් අරඹන්න පුළුවන්. මේ හැම දෙයක්ම කෙරෙන්නෙ ඔබ තෝරා ගන්නා තැරැව්කාර සමාගම හරහා.
    කොටස් වල මිල ඉහළ පහල යන්නෙ කොහොමද කියල cse.lk හි reports බැලීමෙන් දැනගන්න පුළුවන්, online trading system එකක් භාවිතා කරනවා නම් ඒ හරහාත් කොටසක මිල විචලනය වෙලා තියෙන්නෙ කොහොමද කියල දැනගන්න පුළුවන්. අනාගතයේදි මොකක් වෙන්න පුළුවන්ද කියල ඔබගේ ආයෝජන උපදේශකගෙන් අහන්න. ඔවුන් කරල තියෙන සමීක්ෂණ අනුව ඔවුන් ඊට ගැළපෙන පිළිතුරක් දේවි.

    තැරැව්කාර සමාගම හැම වෙලේම ඔයාලට කතා කර කර මේක ඉහළ යනව, මේක පහළ යනව කියල කියන්නෙ නෑ, එයාලගෙ කාර්යය වෙන්නෙ ඔයාගෙ මුදල් ඔයා කියන විදිහට ආයෝජනය කිරීම හා ඔයාගෙ CDS ගිණුම පවත්වාගෙන යාම. ඔබ දෙන උපදෙස් අනුවයි එයාල වැඩ කරන්නෙ. නමුත් ඔබට ඕනෙම වෙලාවක පුළුවන් මේ මේ සමාගම් වල කොටස් කොහොමද කියල ඔවුන්ගෙන් අහල ඒ අනුව මිලදී ගැනීම්. විකිණීම් තීරණය කිරීම.

    හැම වෙලේම කොටස් වෙළඳපලත් එක්ක ඉන්න ඕනෙ, ඔබේ තැරැව්කාර සමාගමට ඔක්කොම වැඩ බාර දීල ඔබට අහකට වෙලා ඉන්න බෑ, එහෙම කරන්න ඕනෙ නම් ඒකක භාර වගේ ඒවයෙ ආයෝජනය කරන්න.

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි පිළිතුරට.තව මොනව හරි ප්‍රශ්න තිබුනොත් අහන්නම්.දිගටම ලියන්න.

    ReplyDelete
  4. hi
    mata thiyenea problem eka thma
    kohemda api trade karala hama wena money api athta pathwene kiyala

    ReplyDelete
  5. @Dinesh: ඔව් අහන්න, පුළුවන් විදිහට දන්න තරමින් උත්තර දීල සහය වෙන්නම්.

    @Ano: කොටස් විකිණීමක් කළාම ඒ කොටස් අයිති සමාගමෙන් ඔබගේ ලිපිනයට ඒ මුදලට සරිලන ලෙස චෙක්පතක් එවනවා. එය ඔබට මුදල් කරගත හැකියි.
    නැතිනම් ඔබට පුළුවන්, කොටස් විකිණීමෙන් ලැබෙන මුදල් ඔබගේ CDS ගිණුමටම බැර කරල, අවශ්‍ය වෙලාවට තැරැව්කාර ආයතනයට කතා කරල මුදල් ලබාගන්න. (ඔවුන්ගේ කාර්යයාලයට ගිහිල්ල මුදල්ම ගන්න පුළුවන්, නැතිනම් චෙක්පතක් ගෙදරට ගෙනවාගන්න පුළුවන්.)

    ReplyDelete
  6. tnks a lot machan kuppiyak dammata cse 1ka gana... :)

    ReplyDelete
  7. එක ගැන තව ටිකක් පැහැදිලි කරලා කියා දෙන්න පුලුවන්ද?ටිකක් තේරුම ගන්න අපහසුයි වගේ.

    ReplyDelete
  8. එක ගැන තව ටිකක් පැහැදිලි කරලා කියා දෙන්න පුලුවන්ද?ටිකක් තේරුම ගන්න අපහසුයි වගේ.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad