IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 2 - Guide to CSE

Hot

Thursday, September 8, 2011

IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 2

පළමු කොටස මෙතනින් කියවන්න.

මුල් ලිපියෙන් කතා කළානෙ, IPO එකක් කියන්නෙ මොකද්ද, ඒකෙන් සමාගමක් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද වගේ දේවල්. ඉතින් අද තව ටිකක් මේ ගැන දැනගනිමු.


IPO එකකට සමාගමක් යනකොට ඉතා විශාල වැඩ කොටසක් ඔවුන්ට කරන්නට වෙනවා. අන්තිමට ආයෝජකයා දකින්නේ ඒ වැඩ වලින් එලියන එන දේ විතරයි, එක දෙයක් හැර, ආයෝජකයෙක්ට ඒ කෙරෙන දේවල් ගැන දැනුමක් අත්‍යවශ්‍ය නොවන නිසා ඒ ගැන කතා නොකර ඉමු. ඒ එක දේ තමා IPO එකක් ප්‍රසිද්ධ කරන්න ඉස්සෙල්ල, යම් කොටස් ප්‍රමාණයක් යම් මිලකට (IPO එකෙන් කොටසක් දෙන මිලට වඩා අඩු මිලකට) සමාගමේ කාර්ය මණ්ඩලයට ලබා දෙනවා කියන එක. අන්න ඒක මතක තබාගත යුත්තක්.

හරි, ඉතින්,
IPO එකකින් කොටස් ගන්න ඉස්සෙල්ල මොනවද හිතන්න ඕනෙ, මොනවද හොයල බලන්න ඕනෙ?

මුලින්ම කියන්න ඕනෙ, 
පනින්න පෙර සිතා විතරක් නෙමෙයි සොයාත් බලනු!!!
සමාගම ගැන ඉතිහාසයක් නොමැති වීම
IPO හරහා කොටස් වෙළඳපළට සමාගමක් එනකොට ඔවුන් ගැන මුලින්ම හොඳින් හොයල බලන්න ඕනෙ. සමාගම අලුත් එකක් නම් ඉතින් තොරතුරු ලබා ගැනීම ඉතාම අපහසුයි. විශේෂයෙන්ම මූල්‍ය තොරතුරු ගැන සොයා බැලිය යුතුයි. ඉතින් මේ වගේ සමාගම් ගැන දැනගන්න තිබෙන මූලිකම මූලාශ්‍රය තමයි ඔවුන් ලබාදෙන සංස්ථා ප්‍රකාශය (Prospectus එක). ඉතින් මේක හොඳින් කියවන්න අමතක කරන්නෙපා. විශේෂ තොරතුරු ඇරුනම, සමාගමේ කළමණාකාරිත්වය දරන්නෙ කවුද, ඔවුන් මේ ලැබෙන මුදල් වලින් කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ මොනවද වගේ දේවල් ගැනත් බලන්න.
විශාල බ්‍රෝකර් ආයතන වලට හැකියාව තිබෙනවා සාර්ථක IPO එකක් සඳහා ලොකු සහයක් වෙන්න. ඉතින් මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. එයාලට ඕනෙ විදිහට යම් පාලනයකට නතු කරගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා.

කොටස් සිරකර තබා ගැනීමේ කාලය (Lock-Up Period)
ඔබ ටිකක් හොයල බැලුවොත්  පරණ IPO සමහරක්, කොටස් වෙලඳපළට කොටස් ටික ඇවිල්ල යම් කාලයකට පස්සෙ ක්ෂණිකව ඉතා වේගයෙන් කොටස් මිල පහළට බහිනව. ඒකට හේතුව වෙන්නෙ මෙන්න මේ Lock-up Period එක තමා. 
මේ ලිපියේ මුල් කොටසේ කිව්ව ඔබට මතක ඇතිනෙ, IPO මිලට වඩා අඩු මිලකට සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් ලබා දෙනවා කියල. ඉතින් අන්න ඒ අය, Lock-up period එක ඉකුත් වූ වහාම තමුන්ගෙ කොටස් විකුණල ලාභ ගන්න පටන් ගත්තම තමා මේක වෙන්නෙ.
ඉතින් මොකද්ද මේ Lock-up Period එක?
සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් දුන්නම, ඒ කොටස් යම් කාලයක් වෙනකම් විකුණන්න දෙන්නේ නෑ. අන්න ඒ කාලය තමා Lock-up Period එක. ඒ කාලය මාස 3ක පමණ සිට මාස 24ක් දක්වා කාලයක් වෙන්න පුළුවන්. (නීතියට අනුව අවමය දින 90ක්, නමුත් බොහෝවිට ඒක ඊට වඩා වැඩි වෙනවා.)
ඉතින් ඒ කාලය ඉකුත් උනාට පස්සෙ, ඔවුන් ලාභය එකතු කර ගැනීම සඳහා තමුන්ගේ කොටස් සීග්‍රයෙන් විකුණන්න ගන්නව. අන්න එතකොට කොටස් මිල වේගයෙන් පහළ බහිනව. 

මිල උච්ඡාවනය
මේ කියන්නෙ IPO එකෙන් කොටස් ටික කොටස් වෙළඳපළට ඇතුළු වූ වහාම කොටස් යළි යළිත් විකුණමින් ලාභ ලබා ගැනීමට. මේක ඉතාම අමාරු කාර්යයක්. බ්‍රෝකර් ගාස්තුව ගෙවන්නත් ඕනෙනෙ. සමාගම් වලට ඕනෙ ආයෝජකයො මිසක් වෙළෙන්දො නෙමෙයි, නමුත් මේක වළක්වා ගන්නට කිසිම නීතියක් හෝ විසඳුමක් නෑ.  නමුත් ඔබගේ බ්‍රෝකර් ආයතනය ඔබට අනතුරු අඟවන්නට ඉඩ තිබෙනවා. නමුත් ඉතින් ලොකු ලොකු ආයෝජකයින් ලොකු මුදල් ආයෝජනය කරල පොඩි පොඩි මිල වෙනස්කම් හරහා ලොකු ලාභයක් ලබනවා. ඔවුන්ට ඒ හැකියාව තිබෙන්නෙ ඔවුන්ගේ ක්‍රය ශක්තිය (Buying Power)  වැඩි නිසයි. මේ මුල් දින වල තිබෙන මිල උච්ඡාවචනය නිසා, ඔබ කුඩා ආයෝජකයෙකු නම් රීතියක් වශයෙන්, ඔබට IPO එකෙන් කොටස් මිලට ගන්න බැරි උනා නම් මේ දිනවල කොටස් මිලට ගන්නට යන්න එපා. මොකද මුල් දිනයේ දෙකේ එම කොටස් වල මිල ඉතාම වේගයෙන් විශාල වදයෙන් ඉහළ ගිහිල්ල ඊට පස්සෙ ක්ෂණිකව කඩා වැටෙනවා. එතකොට ඔබට විශාල අලාභයක් අත් වෙන්නට ඉඩ තිබෙනවා.

අතිශෝක්තියන්ට රැවටෙන්න එපා. 
සමාගමක IPO එකක් කියන්නෙ ජීවිතේටම එකම එක පාරක් එන වාසියක්/ අවස්ථාවක් ලෙස ලොකුවට පෙන්නල ලොකු ප්‍රචාරණයක් දෙනවා. ඇත්ත, සමහරක් සමාගම් ඉතාම හොඳින් කොටස් වෙළදපළ ජයගන්නවා. නමුත් මතක තබා ගත යුතු දෙය තමයි සමහරක් සමාගම් නවතින්නෙ, නිකුත් කළ මිලටත් වඩා පහළ මිලකට අලෙවි වෙමින්. ඉතින් කියන්න තියෙන්නෙ IPO එකක් උනු පලියටම කොටස් ගන්න යන්න එපා. හොඳින් හොයල බලන්න.

තව කොටසකින් ඉතිරි ටික බලාපොරොත්තු වන්න. 

6 comments:

  1. වැදගත් ලිපියක් ,, ඉතිරි ටිකත් ලියමු නේද?

    ReplyDelete
  2. පුළුවන් ඉක්මනින්. :)

    ReplyDelete
  3. මට පේන විදියට මේ දවස් වල IPO වැඩිපුර එන්නේ sec එකෙන් ෆිනැන්ස් කම්පැනි ඔක්කොම ලිස්ට් කරන්න කියල නීතියක් දාපු නිසා. එන එන හැම එකම ෆිනෑන්ස් කොම්පැනි. හැබැයි මම නම් හිතන්නේ ගොඩක් අය සොෆ්ට්ලොජික් එකෙන් IPO වල සබැ තත්වය ගැන පොඩි පාඩමක් ඉගන ගත්තා කියලා

    ReplyDelete
  4. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාමු :)

    මටනම් අයි.පි.ඕ එපා වෙලා තියෙන්නේ.....පහුගිය කාලේ දීපු ඔක්කොම ඒව අසාර්තකයි :(

    ReplyDelete
  5. godak sthuthi. wedagath lipiyak.

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad