කොටස් වෙළඳපළදී භාවිත වන විශේෂ වදන් - Guide to CSE

Hot

Wednesday, June 2, 2010

කොටස් වෙළඳපළදී භාවිත වන විශේෂ වදන්

කොටස් වෙළඳපළ එක්ක වැඩ කරනකොට, කොටස් වෙළඳපළ මගින් හා තැරැව්කරුවන් භාවිතා කරන විශේෂ වචන සෙට් එකක් තියෙනවනෙ, ඒව සමහරුන්ට නම් ග්‍රීක් වගෙයි. ඉතින් ඒව ගැන ටිකක් දැනන් ඉන්න එක ඇඟටත් හොඳයි වගේම ඒවයින් ප්‍රයෝජනත් තියෙනව. ඒකෙන් ඔයාලගෙ ආයෝජන සම්බන්ධයෙනුත් වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි.


Market Capitalization 
මේකෙන් කියන්නෙ, කොටස් වෙළඳපළ තුළ තිබෙන සියළුම සමාගම් වල සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වල මුළු වටිනාකමයි. 
මේක මුළු වෙළඳපළටමත්, ඒ ඒ මිල දර්ශක වශයෙනුත්, සමාගම් වශයෙනුත් ගණනය කෙරෙනවා. මේක භාවිතා කරන්නෙ කොටස් වෙළඳපළ තුළ වටිනාකම ගණනය කිරීමටයි. 
Market Capitalization ගණනය කරන්නේ වෙළඳපළ තුළ ඇති කොටස් ගණන වෙළඳපළ තුළ එම කොටසේ මිලෙන් ගුණ කිරීම මගිනුයි.
උදා: XYZ සමාගමේ කොටස් 100,000ක් වෙළඳපළ තුළ තියෙනව නම් හා එකක මිල රු.20ක් නම් එම සමාගමේ market capitalization එක රු.2,000,000 ක් වෙනවා.
මේක එම සමාගමේ වටිනාකම පිළිබඳ පෙන්නුම් කරන සාධකයක් උනත් මේක තාවකාලික අගයක් පමණයි, මොකද කොටසක මිල වෙනස් වීම අනුව මෙහි අගයත් වෙනස් වන නිසා. 
එම සමාගමේ නිවැරදි වටිනාකම (ඒ කියන්නෙ සියළුම දේපල හා වත්කම් වල වටිනාකම) මේකෙන් පෙන්නන්නෙ නෑ, ඒව දැන ගන්න නම් එයාලගෙ Annual Report එකක් අරගෙන බලන්න.


කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය ගැන හැඟීමක් ගන්න භාවිතා කරන දර්ශක (Indices)
කොළඹ කොටස් වෙළඳපළ විසින් මෙහෙම ප්‍රධාන දර්ශක 2ක් යොදා ගන්නව, වෙළඳපළ ක්‍රියාකාරිත්වය දැනගන්න. ඒ තමා සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index: ASPI) හා මිලන්කා මිල දර්ශකය (Milanka Price Incex: MPI)
ඊට අමතරව අංශ වශයෙන් දර්ශක 20ක් (Sector Indices), සියළු ප්‍රතිලාභ දර්ශක 2ක් (Total Return Indexes), හා අංශ වශයෙන් සියළු ප්‍රතිලාභ දර්ශක 20ක් (Total Return indices by sector) ක් තිබෙනව.
මෙම දර්ශක යොදා ගන්න පුළුවන්, වෙළඳපළ ක්‍රියාකාරිත්වය හිතා ගන්නත්, ඉදිරි ක්‍රියාකාරිත්වය අනුමාන කරන්නත්, හා ලාභ කොයි වගේ වෙයිද කියල ගණනය කරන්නත්.


සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index: ASPI)
මෙය යොදා ගන්නෙ මුළු වෙළඳපළම ක්‍රියාකාරිත්වය ගැන කියන්න. සියළුම සමාගම් වල කොටස් වල ක්‍රියාකාරිත්වය අනුව මෙය වෙනස් වෙනවා. මේකට මූලික වෙන්නෙත් අර මුලින් කිව්ව market capitalization එකම තමා. ඒ ඒ සමාගම් වල capitalization එක අරගෙන, වෙළඳපළ තුළ ඇති කොටස් ප්‍රමාණයන්ට අනුව භරිත මධ්‍යනය අරගෙන තමා මේක ගණනය කරන්නෙ.
මෙම දර්ශකය 1985 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.


මිලන්කා මිල දර්ශකය (Milanka Price Index: MPI)
මෙය යොදා ගන්නේ, තෝරාගත් සමාගම් 25ක ක්‍රියාකාරිතවය බලන්නයි. මෙම සමාගම් 25 තෝරාගන්නේ, ඊට පෙර වසර දෙක තුළ සමාගම් වල කොටස් වල ද්‍රවශීලීතාවය (Liquidity) හා Market Capitalization එක අනුවයි. සරළව කිව්වොත් පසුගිය වසර දෙක තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වපු සමාගම් 25 අරගෙන තමා මේ දර්ශකය ගණනය කරන්නෙ.
වසර දෙකකට සැරයක් මේක අළුත් කරනවා. මෙම දර්ශකය 1988 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.


Market Day
මේක නම් තේරෙනවනෙ? මේ කියන්නෙ, කොටස් වෙළඳපළ විවෘතව පවතින දිනයක් කියන එක.
කොටස් වෙළඳපළ විවෘතව පවතින්නෙ සතියේ දින වල, උදේ 9.30 සිට සවස 2.30 දක්වා පමණයි. සියළුම නිවාඩු දින වල කොටස් වෙළඳපළ වසනු ලබනවා.


Turnover
මේකෙන් කියන්නෙ ඒ දිනය තුළ වෙළඳාම් වූ සියළුම කොටස් වල වටිනාකමයි. මේක කරන්නෙ ඒ දිනය තුළ සිදුවූ සියළුම ගනුදෙනු වල වටිනාකම් එකට එකතු කිරීම මගින්.


Portfolio
මේක ඇවිල්ල ආයෝජන එකතුවක් කියල කියන්න පුළුවන්. (සමහරු කියනව ආයෝජන කළඹක් කියල)
Portfolio එකක් කියල කියන්නෙ යම් පුද්ගලයෙකුගේ හෝ සමාගමකට අයිතිව පවතින සියළුම ආයෝජන වල එකතුවට.
මේක තුළ, සියළුම කොටස් (විවිධ සමාගම් වෙනුවෙන් ආයෝජනය කරන ලද), සුරැකුම්පත්, බැඳුම්කර, තියෙන්න පුළුවන්.


Diversification
මේකත් කෙනෙක්ගේ portfolio එකත් එක්ක යන දෙයක්. මේ කියන්නෙ, අවදනම අඩු වෙන විදිහට, අපි කරන ආයෝජනය විවිධ අංශ හරහා පැතිරිලා යන විදිහට තියෙන්න ඕනෙ කියන එක. 
එ කියන්නෙ, කවදාවත් එකම අංශයක සමාගම් කිහිපයක කොටස් ගන්න එපා. එතකොට ඒ අංශය පසුබෑමකට ලක් උනොත් ඔයා කොට උඩ. ඒ නිසා කොටස් මිලදී ගන්නකොට Diverse Portfolio එකක් නැත්තම්, Wide Portfolio එකක් තියාගන්න, එතකොට ඔයා ගත්තු සමාගම් අයිති එක අංශයක් පසු බැස්සත් එතනින් එක අලාභය වෙනත් අංශයක සමාගමකින් ශුන්‍ය වෙලා යාවි.
ඒකෙන් ඔයා ලක්වෙන අවදානම අඩු වෙනවා.


Margin Trading
ඔන්න, මේක නම් ටිකක් අනතුරුදායක වැඩක්. මේකෙන් කියන්නෙ අපි ණයට කොටස් ගන්නව කියන එක. අපි යම් මුදලක් තැරැව්කරුවා ලඟ තැන්පත් කළාම, අපිට අවස්ථාව ලැබෙනව, ඒ මුදල වගේ දෙගුණයක මුදලකට කොටස් මිලට ගන්න, ඒ අමතර ගාණ තැරැව්කරුවාගෙන ගන්නා ණයක්. 
දින තුනක් ඇතුලත මේ ණය ගෙවිය යුතු වෙනවා, එහෙම බැරි උනොත් තවත් දින දෙකකට පසු, ඒ ණයට පොළිය එකතු වෙනවා, සහ ඔබේ තැරැව්කරුවාට අයිතිය තිබෙනව ඔබේ කොටස් විකුණල ඒ ණය පියවගන්න. කොටස් වල මිල යම් අගයකට වඩා පහත බැස්සොත් ආයෝජකයාට සිදුවනවා අනිවාර්යයෙන්ම තව මුදලක් ගිණුමට දැමීමට.
Margin Trading කියන්නෙ දෙපැත්තම කැපෙන කඩුවක් වගේ, කොටස් වල මිල ඉහළ ගියොත් ලැබෙන ලාභය දෙගුණ වෙනව, ඒ වගේම පහළ ගියොත් පාඩුවත් දෙගුණ වෙනවා. 


Normal Lots
මේක නම් කියන්නත් දෙයක් නෑ. මේ කියන්නෙ සාමාන්‍ය  වෙළඳපළ තුළ විකිණෙන කොටස්. 100 ගුණාකාර වලින් තමා විකිණෙන්නෙ. මේ කොටස් විකිණෙන මිල තමා market price එක කියල ගැනෙන්නෙ. 


Odd Lots
අර කිව්ව normal lots තියෙන්නෙ අවමය කොටස් 100යි. මොනයම්ම හරි කොටස් ප්‍රමාණයක් 100ට අඩුයි නම් ඒක සැළකෙන්නෙ Odd Lot එකක් විදිහට. මේව විකිණෙන්නෙ වෙනමමයි, වෙනමම වෙළඳපළක වගේ තමා. මේවායෙ මිල Normal Market එකට වඩා වෙනස් වෙන්න පුළුවන් හා, ඒක normal share price එකට බලපෑම් කරන්නෙ නෑ.


ඔන්න එහෙනම්, මෙ වචන ටික ටිකක් හුරු වෙන්න, මොකද මේව බහුලව භාවිතා වන වචන. ඉතින් ඒව ඉගෙනගෙන ඉන්න එක දැනීමටත් එක්කම වෙලඳපළ තත්වය ගැන හිතා ගන්නත් උදව්වක් වෙනවා.

3 comments:

  1. කියන්න දෙයක් නැතිතරමට විස්තරේ පැහැදිලියි..ස්තූතිය් ඔබට..

    ReplyDelete
  2. ස්තුතියි ඔබටත්. හැමදාම අපි එක්ක එකතු වෙලා ඉන්න.

    ReplyDelete
  3. what is the difference between share volume and trade volume ??

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad